එකමත් එක

කතාවකට වැඩි යමක්!
















ටික් ටික් ගාල හෙල්මට් එකට වතුර බිංඳු වැටෙනව, සුළඟ කපාගෙන ඉදිරියට යන මගෙ ඇස් කන්ණාඩි දෙකටත් වයිපරයක් තිබුන නම් වැහි වතුරට බොඳවුන මගෙ කන්ණාඩි දෙක පොඩ්ඩක් පැහැදිලි කරගන්න තිබුණ. තව ඉස්සරහට යනව මිසක් මඟ නවතින එකේ කිසි තෙරුමක් නෑ කියල මගේ මොලේ කෑගහනව. 
සීතල සුළං කන් දෙක සීතල කරන් හමගෙන යනව. කන් පෙතිවලට මේ දැනෙන සීතල මුළු ගත පුරා රැඳෙන දිනය වැඩි ඈතක නෙමෙයි, ඒත් මම නවතිනවද? මම නවතිනවද මේ වැස්සට? නෑ මම මොකට නවතිනවද මම තීරණය කළා.

වෙල් යාය මැද්දෙන් තියන පාර වැටෙන්නෙ හොල්මන් මන්දිරේකට, හෝ හෝ සද්දෙ එක්ක මේ එන හුළඟ එක්ක කොයි වෙලේ හරි මගෙ ඉස්සරහ සුදු ඇඳගත්ත හොලමක් මතුවෙයි! මොලේ විකාර වෙන්න ගත්තද මන්ද , මම ඉතිපිසෝ ගාතාව කියන්න ගත්ත. මැරෙන්න බය නැති මම හොලමන් වලට බයයි! හ හා! මටම හිනා.

කරුවල පාරෙ ඉස්සරහින් එන වාහනවල ඇස් කඩාගෙන යන කහ පාට ලයිට්, වැස්සට තෙමෙන ලිස්සන පාර. තව යන්න තියනව මට.

යන්තම් ආව, මගෙ නොම්බරේ පහ. ඉතින් ඉඳගෙන ඉන්නව දැන්. නොදන්න මූණු දිහා බල බල බය වෙනවට වඩා හොඳයි දන්න මූණක් මතක් කර ගන්නව. ටිකක් ඇස් පියා ගත්ත. "මම මැරුණොත් ඔයා අඬනවද?" චතූට මැසේජ් එකක් දාන්න හිතුන, මට බනි! හි හී! අහිංසක කෙල්ල, මම ඇත්තටම මරෙන්න යනව කියල දැනගත්තොත් මොනව කර ගනිද මන්ද.

ඔන්න මගෙ නොම්බරේ කතා කළා.

"ඔයාගෙ රෙපෝට්ස් හොඳයි, අපි හිතුව වැරදියි, ඔයාට පිළිකාවක් නෑ"














"දරුවන්ගෙ මූණ බලාගන්න වාසනාව නැති උනානෙ ඉතින් නන්දන පුතාට" 
තම මවගේ කටින් එවන් වදන් ඉබේටම කියවුනත් ඉන් දමයන්තිගේ හදවතට දැනුන වේදනාව ගැන හැඟීමක් දමයන්තිගේ මවට නැතිබව ඕ වටහා ගත්තාය. තම සැමියගේ වියෝවෙන් අර්ධ අප්‍රාණිකව සිටි දමයන්තිට ගැබ්බර බවක් නොතිබෙන්න තම නැන්දම්මා සහ නෑදෑ පිරිවරගේ කතා හේතුකොට ගෙන ප්‍රාණය නිරුද්ධ වන්නටද ඉඩ තිබිණ.
"උඹේ කාලකන්නි කමට තමයි මගෙ පුතා නැති උනේ" නැන්දම්මාගේ දෙස් දෙවොල් ඇයගේ සිහියට නැඟින. 

කිරි දරුවන් දෙදෙනාම එක වර හඬන්නට විය, 
"අම්මෙ මෙන්න මෙහෙමයි දෙන්නටම එක වර කිරි දෙන්න ඕන" දරුවන් දෙදෙනාම දෙපසින් අල්වාගෙන තන් පුඩු දෙකෙන්ම එක වර දරුවන්ට කිරි දෙන ආකාරය ර්ස් විසින් කියාදෙන විට දමයන්ති සිටි වේදනාත්මට සිතිවිලි වලින් වර්තමානයට පියඹා විත් දරුවන් හා එක්වූවාය.

නන්දන හෙවත් දමයන්තිගේ සැමියා, විවාහ වන විටත් සොයා නොගත් රෝගයකින් පෙළුනේය. ඔහු රෝගී බව තම මවට නොදැන්වූ ඔහු දමයන්තිට ඒ බව පැවසුවේ  ඔහුට ඇය හා විවාහ විය නොහැකි බව පැවසීමටයි. නමුත් ඒ සියළු දේටම වඩා බලවත් වූ දෙදෙනාගේ ආදරය ඉක්මන් විවාහයකින් කෙලවර වූ අතර, මවගෙන් රෝගී තත්වය සැඟවීමට දෙදෙනාම කතිකා කර ගත්තහ. නමුත් අවසන් ප්‍රථිඵලය වේදනාත්මකය. නින්දා අපහාස චෝදනා ලබමින් දරුවන් දෙදෙනුකු හා තනි වන්නට වූයේ දමයන්තිටයි.

අසනීපය කුමක්ද හරියටම නිශ්චය කර ගැනීමට නොහැකි විය. එය ජාන හා සම්බන්ද රෝගී තත්වයකි. වෛද්‍යවරුන්ගේ අවසන් නිගමනය එය නොවුනත්, දමයන්තිට වැටහුනේ එලෙසින්ය. 
දමයන්තිගෙ සිත නොදන්න කුමක්දෝ බියකින් වෙලමින් සිටියාය. ඒ කුමක්දැයි ඇයටම තේරුම් ගත නොහැකි විය.


දරුවන්ටත් ඒ ලෙඩේ හැදෙයිද? බියට හේතුව ඕ වටහා ගත්තාය. දරුවන් දෙදෙනාම එක වගේ පෙනුම, කිසි වෙනසක් නොතිබින. එක් අයෙකුගේ කන ළඟ උපන් ලපයක් ඇත, එය ඉතා කුඩ නමුත් දෙදෙනා වෙන් කර හඳුනා ගැනීමට එය ප්‍රමණවත් සලකුණක් විය. 

"අම්මෙ දරුවන්ගෙ උපන් වෙලාව අරන් ගිහින් පන්සලේ හාමුදුරුවන්ගෙන් නම් දාන්න අකුරු අහන් එන්න"


"දරුවන්ගෙ තාත්ත කරන්න ඕන ඒව ආච්චිට කරන්න වෙලා"

නැවතත් තම මවගෙන් දමයන්තිට වූයෙ හිත් රිදීමක් පමණි.



ඔයාලට මතකනෙ දහරාගෙ දින පොත ගැන කියන මම එරන්දි කියල. දහරාගෙ දින පොත ඇතුලෙ තිබිල මට ලියුමක් හම්බුනා. ඇත්තටම ඒක සන්තුෂට ලියපු එකක් නෙමෙයි! ඒක සාරංගට. සාරංගට මම ඒක දෙනවද කියල ගොඩක් කල්පනා කළා. මම ඒක එයාට දුන්නෙ නෑ. දහරාගෙ මරණයත් එක්ක ගොඩක් වේදනාවට පත්වෙච්ච යාළුවො අතරින් ඒ කියන්නෙ මාත් ඇතුලු යාළුවො අතරින් එක්කෙනෙක් සාරංග. එයා දුක් වෙයි ගොඩක්, සමහර විට ජීවිත කාලය පුරාවටම. ඉතින් මේ තියෙන්නෙ ඒ ලියුම.


සාරංග,

ඇයි ඔයා මට බැන්නෙ යාළු, මට ගොඩක් දුක හිතුන. සහෝදරයෙක් ඔයා මට. එක කුස උපන්නෙ නැති එක විතරයි නේද අපි දෙන්න. මට තියන ආදරයට, හිතවත් කමටද බැන්නෙ? ඔව් මම හිතන්නෙ එහෙම. 
මට හොදට මතකයි, ඔයාට මම බැනල ඇති ඕන තරම්. ඔයා පිස්සු වැඩ කළාම. තරහ වුනේ නෑ නේද ඒවට මා එක්ක. ඔයා මා එක්ක විකාර කියව කියව ඉන්න යාළුවනෙ. 
සන්තුෂ ගැන හිතුන එක වැරැද්දක්ද? ඒකනෙ ඔයා මට පිස්සු කියල බැන්නෙ. ගොඩක් දුකයි මට. මට පිස්සු නෑ සාරංග, මම ඔයාල ගාවම ඉන්න හීන දකිනව ඇති. 
මම......












ලියුම බාගෙට ලියල තිබ්බෙ,මොනවද දහරා කියන්න ගිහින් නවත්ත ගත්තෙ? ඇයි මේක ලියල එයාට දුන්නෙ නැත්තෙ? මට ප්‍රශ්න ගොඩයි. ඒත් මට උත්තර අහන්න දහරා ළඟ නෑ. මේකෙ අකුරු බොඳ වෙච්ච තැන් තියනව, ඒ දහරාගෙ කඳුලු වැටිල වෙන්න ඇති. දැන් මගෙ කඳුලුත් මේකෙ අකුරු බොඳ කරන්න කලින් මම නවතිනව. 



එක අම්මගෙ නොවූ
සොයුර මගෙ පන හා සම
රිදවන්නෙ හදවත
කිම වරදක් වුන
කඳුලු එයි නෙත් කොන
සිහිකරමි සැම දින
හැර දමා ගිය තැන
ඉන්නෙ අතරමන් වෙන
සොයුරිය සිහිවේවි
එනු මැනවි සොයමින....

Powered by Blogger.

Followers