එකමත් එක

කතාවකට වැඩි යමක්!


ඔයාලට මතකනෙ දහරාගෙ දින පොත ගැන කියන මම එරන්දි කියල. දහරාගෙ දින පොත ඇතුලෙ තිබිල මට ලියුමක් හම්බුනා. ඇත්තටම ඒක සන්තුෂට ලියපු එකක් නෙමෙයි! ඒක සාරංගට. සාරංගට මම ඒක දෙනවද කියල ගොඩක් කල්පනා කළා. මම ඒක එයාට දුන්නෙ නෑ. දහරාගෙ මරණයත් එක්ක ගොඩක් වේදනාවට පත්වෙච්ච යාළුවො අතරින් ඒ කියන්නෙ මාත් ඇතුලු යාළුවො අතරින් එක්කෙනෙක් සාරංග. එයා දුක් වෙයි ගොඩක්, සමහර විට ජීවිත කාලය පුරාවටම. ඉතින් මේ තියෙන්නෙ ඒ ලියුම.


සාරංග,

ඇයි ඔයා මට බැන්නෙ යාළු, මට ගොඩක් දුක හිතුන. සහෝදරයෙක් ඔයා මට. එක කුස උපන්නෙ නැති එක විතරයි නේද අපි දෙන්න. මට තියන ආදරයට, හිතවත් කමටද බැන්නෙ? ඔව් මම හිතන්නෙ එහෙම. 
මට හොදට මතකයි, ඔයාට මම බැනල ඇති ඕන තරම්. ඔයා පිස්සු වැඩ කළාම. තරහ වුනේ නෑ නේද ඒවට මා එක්ක. ඔයා මා එක්ක විකාර කියව කියව ඉන්න යාළුවනෙ. 
සන්තුෂ ගැන හිතුන එක වැරැද්දක්ද? ඒකනෙ ඔයා මට පිස්සු කියල බැන්නෙ. ගොඩක් දුකයි මට. මට පිස්සු නෑ සාරංග, මම ඔයාල ගාවම ඉන්න හීන දකිනව ඇති. 
මම......












ලියුම බාගෙට ලියල තිබ්බෙ,මොනවද දහරා කියන්න ගිහින් නවත්ත ගත්තෙ? ඇයි මේක ලියල එයාට දුන්නෙ නැත්තෙ? මට ප්‍රශ්න ගොඩයි. ඒත් මට උත්තර අහන්න දහරා ළඟ නෑ. මේකෙ අකුරු බොඳ වෙච්ච තැන් තියනව, ඒ දහරාගෙ කඳුලු වැටිල වෙන්න ඇති. දැන් මගෙ කඳුලුත් මේකෙ අකුරු බොඳ කරන්න කලින් මම නවතිනව. 



එක අම්මගෙ නොවූ
සොයුර මගෙ පන හා සම
රිදවන්නෙ හදවත
කිම වරදක් වුන
කඳුලු එයි නෙත් කොන
සිහිකරමි සැම දින
හැර දමා ගිය තැන
ඉන්නෙ අතරමන් වෙන
සොයුරිය සිහිවේවි
එනු මැනවි සොයමින....










ඇයගේ කෙහෙරැළි සුළඟට ලෙල දෙයි. ඉන් විහිදුවන සුවඳින් මුසපත් වූ රංග ඇයගේ ඇස්, නහය , තොල් අතරින් ඇය හඳුනා ගන්න උත්සාහ කළේය.
"සිත්මි!"
"මිහී"
දෙදෙනාම ඔව්නොව්න් දෙස පුදුමයෙන් බලාසිටියහ.
"ඔයා ඇතුලට යන්න!"
එතෙක් වේලා රංගගේ අතේ එල්ලී සිටි සිත්මිට සිහි එළඹින. ඇය සෙනඟ අතරින් රිංගාගෙන දුම්‍රිය තුලට ඇතුල් විය.
ඇයගේ ඇස්දෙක මිහී ගේ රුව සෙව්වාය, නමුත් රංග ඇය දෙස නොබලාම දුම්‍රිය පාපුවරුවේ සිටියේය.
"අද අතටම අහුවුණා, මේ ඉන්නෙ උඹේ හොර මිනිහ!"
සියල්ලෝම විමතියට පත් කරමින් හඬක් නැඟින, දුම්‍රිය මැදිරිය තුල පවුල් ආරවුලක් දිගහැරිණ.
තුරුල් වී ඉඳගෙන සිටි යුවලක් එක් වරම විමතයට පත් කරමින්, තරුණියගේ සැමියා පැමිණ ත්බිණ. සියළු සෙල්ලම් අවසානය. හොර එලි වී ඇත.
"තෝ අද ගෙදර වරෙන්කො, තෝව මම මරණව"
"මෙතන ප්‍රශ්ණ ඇතිකර ගන්න එපා!"
"නැ අය්යෙ මේ ඉන්නෙ මගෙ ගෑණි, මේ බලන්න"
අවවාද කල පුද්ගලයාට සැමියා යැයි කියන පුද්ගලයා චායාරූපයක් පෙන්වූයේය.
සැර පරුෂ වචන හුවමාරුවක් දක්වා ප්‍රශ්ණය දුර දිග ගියේය.
සිත්මිද එම ආරවුල දෙස බලා සිටියාය, එක වරම ඇයට මිහී සිහි විය, ඇය පාපුවරුව දෙස බලන විට ඔහු පෙනෙන්නට නොසිටියේය.
* * * * * *
1986 ඉරිදා දිනක පාන්දර 3.20ට රාගම රෝහලේදී...
"අම්මෙ මෙන්න ඔයාට නිවුන් පුත්තු දෙන්නෙක්ම"
ප්‍රසූත වේදනාවේ කඳුලු වියලමින් දමයන්ති ගේ ඇස් සතුටු කඳුලින් තෙමී ගියාය.
"තාත්තගෙ හැඩ රුවම තමා" තම පුතුන් දෙස බලමින් දමයන්ති තම ආදරණීය සැමියාව සිහි කළාය.


මම එරන්දි, මට දහරාගෙ දින පොත හම්බුනේ එයාගෙ හත්දවසෙ දානෙ තිබුන දවසෙ. කොච්චර උත්සාහ කලත් මට දහරාගෙ සුවඳ තාමත් රැඳිල තියන එයාගෙ කාමරේ ඇඳ උඩ නිදා ගන්න පුළුවන් උනේ නෑ. ඒක හරිම වේදනාවක්. දහාරගෙ මතකය පිරුණු එයාගෙ පොත් රාක්කෙ අදිනකොට තමයි මට මේ දින පොත හම්බුනේ. ඉතින් දහරාට ආදරය කරපු අය වෙනුවෙන් මම එයා ලියපු, මාව අඬවපු සටහනක් ඔයාලට පෙන්නන්නම්.

දහරාගේ දින පොතෙන්

2012 අප්‍රේල් 18

මම මගෙ අල්මාරිය අස්කලා  අද, මගෙ අල්මාරියෙ එක තට්ටුවක් පිරෙන්නම තියෙන්නෙ මට හම්බුන තෑගි. ඒකෙ එක මල්ලක් පුරවල මම අරගෙන ඒත් නොදුන්න තෑගි තියෙනව. මම ඒ තෑගි ගත්තෙ මගෙ හොඳම යාළුවට, ඒත් මට ඒව දෙන්න බැරිවුණා. මෙතන තියන කොළ පාට කැස්බෑවව මම ගත්තෙ නුවරින්. අවුරුද්දට සන්තුෂට තෑගි දෙන්න. එදා මගෙ අතේ රුපියල් දෙසීයයි තිබ්බෙ. එකෙන් මම මගෙ අම්ම තාත්තටවත් මුකුත් නොගෙන සන්තුෂ වෙනුවෙන්ම පුංචි හරි තෑග්ගක් ගත්තෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. ඒ මම අම්මටයි තාත්තටයි ආදරේ නැතුව නෙමෙයි, මගෙ අම්ම තාත්ත වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ, ඒත් මට ඒ සෙල්ලම් බඩුව දැක්ක ගමන් සන්තුෂව මතක් වුනා. ඒ වෙනකොට මම අඩුම තරමෙ අවුරුද්දට කියල මට වත් දෙයක් අරගෙන තිබ්බෙ නෑ.  අපි රණ්ඩු වෙලා, තරහ වෙලා දැන් සති දෙකක් වෙනව. ඇත්තටම මම හිතන්නෙ අපේ යාළුකම සදහටම ඉවරවුණා. වැරැද්ද කාගෙද කියල හිතල වැඩක් තියනවද?
මට ඉස්සර අහිංසක හීනයක් තිබ්බ. ඒක හරියට චිත්‍රපටි කතාවක් වගේ. මම ප්‍රධාන චරිතය, නිළිය, මට ගොඩක් ආදරය කරන පෙම්වතෙක්, ඊට පස්සෙ ගොඩනැඟෙන අපේම කියල ලෝකයක්. ඒත් යථාර්ථය ඊට වඩා ගොඩක් වෙනස් වුණා. දැන් නම් මට පෙම්වතෙක් ඉන්න ඕන කියල හිතෙන්නෙ නෑ. ආදරය කියන මාර්තෘකාවෙදි මම අසාර්ථක චරිතයක් කියල මට හිතෙන්නෙ.  ඒ පරාජිත බව පිළි අරගෙන ජීවිතයට මූණ දෙන්න මම තීරණය කළා.
මම මගෙ යාළුව වෙනුවෙන් ගත්ත තෑගි වෙන කාටවත් දෙන්නෙ නෑ. ඒත් මම කවදාවත් ඒව එයට දෙන්නෙත් නෑ. ඒව කවදහරි මම සන්තුෂගෙ දරුවෙක්ට දෙනව. ඔව් එහෙම දවසක් එයි. තව අවුරුදු හත අටකින්. එදාට මමත් සමහර විට විවාහ වෙලා ඉඳියි. අපිට ආයෙමත් යාළුවො වගේ හිනා වෙලා කතා කරන්න එදාට පුළුවන් වෙයි කියල මම හිතනව.
හෙට උදෙන්ම නුවර යන්න ඕන. මොනව වුනත් මගෙ ඉගෙනීම අතපසු කරල අම්ම තාත්තගෙ සල්ලි නාස්තිකරන්න මට බැහැ. සන්තුෂ ඔයා හැමදාම සතුටින් ඉන්න මගෙ යාළු. මම එනව ඔයාව බලන්න. ඒත් ඒ කවදද කියල මම දන්නෙ නෑ. ඒත් මම එනවමයි! ඒ මගෙ හිතේ අපේ යාළුකම වෙනුවෙන් තියන මහ ප්‍රභල හැඟීම නිසාමයි!















තෑගි ගොඩක් අරන් ආව
පුංචි පුතුට තෑගි දෙන්න
තාත්ත පුතේ තරහ වුනා
ඔය පුතාව මට නොදෙන්න
තාම අමනාපද ඔයා
පුතේ තාත්තගෙන් අහන්න
බොහෝ කාලයක් ගෙවිල ගියා
ආවෙ යාළුගෙ පුතු දකින්න
තාත්ත වගේම හිනා වෙනව
ලෝබයි මට බලන් ඉන්න
මගෙ දෝනිගෙ යාළු වෙලා
එනවද අපෙ ගෙදර යන්න

"කොල්ලො මේ කිරි එක බීල පලයන්!"

"බෑ අම්මෙ, පරක්කුයි පරක්කුයි!"
"ඔව් ඉතින් පස්සට ඉර වැටෙනකන් නිදාගෙන ඉඳල, අන්තිමට පරක්කුයි පරක්කුයි කියල දුවපන්, කවද හැදෙයිද මන්ද මේ ළමයි"
"හරි හරි අම්මෙ, මම යනව"
"හා හා, රෑ වෙන්නෙ නෑනෙ එන්න"
"කියන්න බෑ"
කළු දුම් වළාවකින් වට වුන රතු පාට බස් එක ඈතින් එනව දුටු රංග හනි හනිකට බස් එකට දිව්ව නමුත් බස් එක මඟ හැරිණ.
"චික්! අදත් මිස් වුනා, දැන් මොකද කරන්නෙ" සිතමින් ඔහු තම අත බැඳි ඔරලෝසුව වෙත තම නෙත් යොමු කලේ වෙලාව බැලීමටම නොව, කලබල වූ විට ඔහු කරනා එක් පුරුද්දක් ලෙසය.
"ඒයි රංගය! නැගපන්" මෝටර් සයිකලය නැවතූ දිනුක ගේ ඇරයුම රංගට මහත් අස්වැසිල්ලක් විය.
"අම්මෝ උඹ නම් දෙයියෙක් නෙමේ දේවාලයක්, මාව ස්ටේෂන් එකට දාපන්කො"
"කීයටද කෝච්චිය?"
"හයයි හතලිහ"
"දැන් හයහමාරයි, බය වෙන්න එපා මම උඹව වෙලාවට දාන්නම්"
"උඹ කොහෙ යන ගමන්ද?"
"මම මේ ට්වුන් එකට යනව පොඩි වැඩකට"
"එල"
දිනුකගේ මෝටර් සයිකලය අහස් යානයක් මෙන් වාතය කපාගෙන ඉදිරියට ඇදුන අතර එය රේල් ගේට්ටුව අසල නතර කරන විටත් රංග යා යුතුව තිබූ දුම්‍රිය පැමිණ තිබිණ. වහා මෝටර් සයිකලයෙන් බැස ගත් ඔහු දුම්‍රියේ එල්ලුනේ එය පිටත් වීමට ඔන්න මෙන්න අවස්ථාවේදීය.
පෞද්ගලික සමාගමක සහකාර ඉංජිනේරුවෙක් ලෙස රැකියාව කළ රංග එම රැකියාවට ගොස් එපමණ කලක් නොවීය. කෙසඟ සිරුරත්, නිතරම අපිළිවෙලක් පෙන්වූ කොණ්ඩයත් ඔහු වෙතින් පෑවේ දඟකාර තරුණයෙකුගේ විලාශයකි. රැකියාවට අලසයෙක් නොවූ ඔහු නිතැතින්ම නිවසේ අලස පුතණුවන් බවට පත්වූයේ නිවසේ වැඩ කටයුතු සඳහා ඔහුගෙන් ලද මන්ද දායකත්වය නිසාවෙනි.
"දෙවෙනි වේදිකාවට පැමිණියේ පානදුර දක්වා ධාවනය වන මන්දගාමී දුම්‍රියයි, එය පානදුර දක්වා සෑම දුම්‍රිය ස්ථානයකම නවත්වනවා ඇත"
රාගම දුම්‍රිය ස්ථානයේදී එලෙස යකඩ කටෙන් හඬ පිට කරන විට රංග තමා නැංග දුම්‍රිය මැදිරියේ සිට සැමදාම ඔහු ගමන් කරන සුපුරුදු දුම්‍රිය මැදිරියට මාරු විය.
"අඩෝ උඹ අදත් පරක්කු වුනාද?"
"ඔව් බන්"
"උඹ ඉඳගන්නවද?"
"එපා බන් දාඩියයි, මම දොරට යනව. ඒයි ශෂිකය මට පොඩ්ඩක් ඉඩ දීපන්!"
දුම්‍රිය හොරපෙ දුම්‍රිය ස්ථානයේ නවතා නැවතත් ගමන් ඇරඹීමට ඔන්න මෙන්න අවස්ථාවේ, දම් පාට ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක් ඇඳ ගත් යුවතියක් ඈත සිට දිව ආවේය. ඇයගේ අභිප්‍රාය දුම්‍රියට ගොඩ වීම නමුත් දුම්‍රිය ගමන් ඇරඹීය. රංග තම අතක් ඇය වෙත යොමු කලේ ඔහුටත් නොදැනිම මනුස්ස කමට විය යුතුය. ඇය ඔහුගේ සවිමත් හස්ථයේ වාරුවෙන් ඒ වනවිටත් ගමන් ඇරඹී තිබූ දුම්‍රියට වීර කාන්තාවක් සේ ගොඩ වූවාය.
ඇය තවත් තත්පර කීපයක් රංගගේ හස්ථය බදාගෙන සිටියාය, ඇයගේ හදවත දඩ දඩ ගා වේගයෙන් ගැහුනේ දුම්‍රිය නගන හඬටත් වඩා හඬක් ඇගේ සවනට දනවමිනි, නමුත් ඒ හඬ ඇසුනේ ඇයට පමණි. අධික වේගයෙන් දිවීම හේතුකොටගෙන ඇයගේ හෘද ස්ඵන්දනය වැඩි වී තිබිණ.






සඳ උත්පලාවී කවි බ්ලොග් එක හා එක්වන ඔබට දැන්  කෙටි කතා සහ නවකතා සමඟ එක්වීමට "එකමත් එක"-කතාවකට වැඩි යමක්.
.....මම  සඳ උත්පලාවී.....

Powered by Blogger.

Followers