එකමත් එක

කතාවකට වැඩි යමක්!


මම එරන්දි, මට දහරාගෙ දින පොත හම්බුනේ එයාගෙ හත්දවසෙ දානෙ තිබුන දවසෙ. කොච්චර උත්සාහ කලත් මට දහරාගෙ සුවඳ තාමත් රැඳිල තියන එයාගෙ කාමරේ ඇඳ උඩ නිදා ගන්න පුළුවන් උනේ නෑ. ඒක හරිම වේදනාවක්. දහාරගෙ මතකය පිරුණු එයාගෙ පොත් රාක්කෙ අදිනකොට තමයි මට මේ දින පොත හම්බුනේ. ඉතින් දහරාට ආදරය කරපු අය වෙනුවෙන් මම එයා ලියපු, මාව අඬවපු සටහනක් ඔයාලට පෙන්නන්නම්.

දහරාගේ දින පොතෙන්

2012 අප්‍රේල් 18

මම මගෙ අල්මාරිය අස්කලා  අද, මගෙ අල්මාරියෙ එක තට්ටුවක් පිරෙන්නම තියෙන්නෙ මට හම්බුන තෑගි. ඒකෙ එක මල්ලක් පුරවල මම අරගෙන ඒත් නොදුන්න තෑගි තියෙනව. මම ඒ තෑගි ගත්තෙ මගෙ හොඳම යාළුවට, ඒත් මට ඒව දෙන්න බැරිවුණා. මෙතන තියන කොළ පාට කැස්බෑවව මම ගත්තෙ නුවරින්. අවුරුද්දට සන්තුෂට තෑගි දෙන්න. එදා මගෙ අතේ රුපියල් දෙසීයයි තිබ්බෙ. එකෙන් මම මගෙ අම්ම තාත්තටවත් මුකුත් නොගෙන සන්තුෂ වෙනුවෙන්ම පුංචි හරි තෑග්ගක් ගත්තෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. ඒ මම අම්මටයි තාත්තටයි ආදරේ නැතුව නෙමෙයි, මගෙ අම්ම තාත්ත වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ, ඒත් මට ඒ සෙල්ලම් බඩුව දැක්ක ගමන් සන්තුෂව මතක් වුනා. ඒ වෙනකොට මම අඩුම තරමෙ අවුරුද්දට කියල මට වත් දෙයක් අරගෙන තිබ්බෙ නෑ.  අපි රණ්ඩු වෙලා, තරහ වෙලා දැන් සති දෙකක් වෙනව. ඇත්තටම මම හිතන්නෙ අපේ යාළුකම සදහටම ඉවරවුණා. වැරැද්ද කාගෙද කියල හිතල වැඩක් තියනවද?
මට ඉස්සර අහිංසක හීනයක් තිබ්බ. ඒක හරියට චිත්‍රපටි කතාවක් වගේ. මම ප්‍රධාන චරිතය, නිළිය, මට ගොඩක් ආදරය කරන පෙම්වතෙක්, ඊට පස්සෙ ගොඩනැඟෙන අපේම කියල ලෝකයක්. ඒත් යථාර්ථය ඊට වඩා ගොඩක් වෙනස් වුණා. දැන් නම් මට පෙම්වතෙක් ඉන්න ඕන කියල හිතෙන්නෙ නෑ. ආදරය කියන මාර්තෘකාවෙදි මම අසාර්ථක චරිතයක් කියල මට හිතෙන්නෙ.  ඒ පරාජිත බව පිළි අරගෙන ජීවිතයට මූණ දෙන්න මම තීරණය කළා.
මම මගෙ යාළුව වෙනුවෙන් ගත්ත තෑගි වෙන කාටවත් දෙන්නෙ නෑ. ඒත් මම කවදාවත් ඒව එයට දෙන්නෙත් නෑ. ඒව කවදහරි මම සන්තුෂගෙ දරුවෙක්ට දෙනව. ඔව් එහෙම දවසක් එයි. තව අවුරුදු හත අටකින්. එදාට මමත් සමහර විට විවාහ වෙලා ඉඳියි. අපිට ආයෙමත් යාළුවො වගේ හිනා වෙලා කතා කරන්න එදාට පුළුවන් වෙයි කියල මම හිතනව.
හෙට උදෙන්ම නුවර යන්න ඕන. මොනව වුනත් මගෙ ඉගෙනීම අතපසු කරල අම්ම තාත්තගෙ සල්ලි නාස්තිකරන්න මට බැහැ. සන්තුෂ ඔයා හැමදාම සතුටින් ඉන්න මගෙ යාළු. මම එනව ඔයාව බලන්න. ඒත් ඒ කවදද කියල මම දන්නෙ නෑ. ඒත් මම එනවමයි! ඒ මගෙ හිතේ අපේ යාළුකම වෙනුවෙන් තියන මහ ප්‍රභල හැඟීම නිසාමයි!















තෑගි ගොඩක් අරන් ආව
පුංචි පුතුට තෑගි දෙන්න
තාත්ත පුතේ තරහ වුනා
ඔය පුතාව මට නොදෙන්න
තාම අමනාපද ඔයා
පුතේ තාත්තගෙන් අහන්න
බොහෝ කාලයක් ගෙවිල ගියා
ආවෙ යාළුගෙ පුතු දකින්න
තාත්ත වගේම හිනා වෙනව
ලෝබයි මට බලන් ඉන්න
මගෙ දෝනිගෙ යාළු වෙලා
එනවද අපෙ ගෙදර යන්න

5 comments:

මාරම දුකයි මේ කවිය

නුවරින් ගත්ත කැස්බෑවා....

Plus ...

ඒක නම් සංවේදී කවියක්

සච්චා ඒක නුවරින් ගත්ත කැස්බෑව තමයි! :) කවිය ගැන මම මුකුත් කියන්නෙ නෑ, ඒකෙ සංවේදී බව ඔබට දැනෙනවා නම් එපමණයි!

Powered by Blogger.

Followers